Monday, September 9, 2013

මිනිස්සු අපි ඔක්කොම මිනිස්සු. අස්ථි පඤ්ඤරයකට පිටින් වටවුන් නහර ලේ ඇට මස්වලට අමතරව හදවතක් තිබෙන මිනිස්සුය. හදවත කවීන්ට අනුව හැඟීම් පාලනය කරන මධස්ථානයකි. හදවතින් තීරණ ගන්න එපා. අම්මා මට හැමවෙලේම කියයි. නමුත් මට සිතෙන හැටියට මිනිසා ගේ හෝ ගැහැණියගේ හැඟීම් පාලනය වන්නේ ලිඟුව හෝ යෝනිය ආශ්‍රිත කරගෙනය. මගේ ජීවිතය තුල වැඩිමනක් කාලයක් ලැගුම් ගෙන සිටියේ අම්මාය. අම්මා තාත්තා නැති තැන කියන කතා දඟලන හැටි දුටු විට මට හිතෙන්නේ මම හෙන පවුකාරයෙකු කියාය. මම ඉපදුනේ නැතිනම් අම්මා දික්කසාදය ඉල්ලන්ට තිබුනු බව අම්මා විසින් මා සමග යම් යම් අවස්ථාවල කියා ඇත.

මම ගැහැණුන්ගෙන් සොයන්නේ අම්මාවය. ඒ සිරකාරියක් බවට පත්වූ අම්මා නොව අම්මාගේ සැබෑ ස්වරූපයයි. කෙසේ වෙතත් මම තාම එය සොයමි. මට තාමත් එය හමුවූයේ නැත.

උසස් පෙල කරන සමයේ මම කෙල්ලෙන් දෙදෙනෙකුට ලියුම් ලියා ඇත. ඒ කෙල්ලන් දෙදෙනාම ලියුම් කියවා මට කැමැත්ත ප්‍රකාශ කලෝය. එකෙකු ලියුම් ලියුවේ ඉංග්‍රිසියෙනි. එය මාස දෙකක් පැමිණි පසු අවසන් වූ අතර අනෙක පැවතියේ සති දෙකකි. කෙසේ වෙතත් එකල මගේ අරමුණ වූයේ අත ඇල්ලීම පමණක් නිසා එය සිදුවූ පසු මට එම සම්බන්ධයේ දිගුවක් වැටහුනේ නැත.

"මේක තේරුමක් නෑ"
"හම්බවෙන්න බෑ"
"කම්මැලියි"


නේවාසිකාගාරය නිසා අපි එකල කෙල්ලෙකු දකින්නේ මාසයකට සැරයකි. සමහර විට එය මාස දෙක තුන දක්වා ඉහල යයි. ඒ බොහෝවිට නේවාසිකාගාරයේ එකෙකුගේ අක්කෙකු හෝ නංගියෙකු ඇති සම්භාවිතාවය ඉතාමත් ඉහලය.

නේවාසිකාගාරය අත්දැකීම් තෝතැන්නකි. මම එතරම් එයට ඇලුම් කරමි. ගෑනු ලමයින් සම්බන්ධයෙන් පැවති අධික කුලෑටි බව සමග අනෙකුත් සියළු ලක්ෂන මට උරුම වූයේ නේවාසිකාගාරයෙන් යැයි සිතමි. කෙසේ වෙතත් එම චරිත ලක්ෂන නිසා මට සිදුවූ හානි මෙන්ම වාසිද නැත්තේ නොව්.




No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.